Monday, February 5, 2018

හිනිපෙත්ත, මොහොතකට ගොඩවන්න








ආදරණීය අපේ අම්මා  

ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කාට ද?යන පැනයට උත්තරේ නම් මට යන්නයි. නමුත් අපි අම්මාගෙන් ඇහුවෝත් ඇගේ පිළිතුර තමගේ දරැ පැටවුන් යන්නයි. මේ අපේ උත්තරීතර මව පිළිබද විවරණයකි
ප්‍රවීණ ගයන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චින්ගේ ‘අම්මා ජීවන උයන්තරේ’ ගීතය පදනම්ව විවරණයයි.

අම්මා ජීවන උයන්තරේ
ඔබ මට සුවය ගෙනේ

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ප්‍රවීණ ගායන ශිල්පයාණන් ස්වකීය අත්දැකිම් ඇසුරින් ස්වකීය පදවැලින් හැඩකර ස්වකීය ගායනය මාධුර්යෙන් විචිත්‍රවත් කරන ලද මෙම ගීතය එදත් අදත් සහෘද හදවත් තුළ අතිශය ජනප්‍රිය ව ඇත. ඉතා සරල බස් වහරක් උපයෝගී කොට ගනිමින් තමන්ගේ මව් ගැන ඔහුගේ සිතිවිලි මෙහි දී ගැබ් කොට ඇති අයුරු විමසා බලමු.

අම්මා....

ඇය ලෝකයට තවත් එක් ගැහැණියක් පමණි. නමුත් දරුවෙකුට තමන්ගේ ලෝකයේ වීරවරිය ඇයයි. දරුවෙකු වෙනුවෙන් ඇය අති විශාල කැප කිරීමක් කරයි. තම බිලිදා කුසට පැමිණි බව දැනගත් මොහොතේ පටන් ඇය නැවත උපතක් ලබයි. සතුටින් පිනායයි. එදින සිට තමන්ගේ දරුවා වෙනුවෙන් ද ආහාරපාන ගනියි. ඇය උණුසුම් ආහාර පාන ගන්නේ නැතිලු ඒ දරුවාට හානියක් වේ යැයි කියන බියෙන් සීතල වතුර බොන්නේ නැතිලු දරුවා කුස තුළ අසනීප වෙයි කියා.,..දිනපතා දෙවියන් වැද ඇය පතන්නේ තමන්ට කොපමණ වේදනා ලැබුනත් තම දිවි තොර වුවත් තමන්ගේ කිරි කැටියා ආරක්‍ෂා කරන ලෙස ප්‍රාර්ථනය කරමින් මෙතරම් කැප කිරීමක් හා ආදරයක් දරුවෙකුට ලැබෙන්නේ මවගෙන් ම පමණකි. ප්‍රවීණ ගයාන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා මෙම ගීතය තුළින් තම වචනයට පෙරලන්නේ මේ අපුරු මව් සෙනෙහසයි. එය තමන් තමන්ගේ මවගෙන් අප්‍රමාණව විදි බව සිහිපත් කරයි.

ජිවිතය නැමැති උද්‍යානය තුළ සියලු සුවය, සැප පහසුකම් අම්මා තමන්ට ලබා දුන් බවත් තම ආදරණිය මව් සිහි කරමින් ඔහු ගයනු ලබයි.

අම්මා ජීවන උයන්තරේ - ඔබ මට සුවය ගෙනේ
නොනිමි දැල්වෙන පහණකි නිරන්තරේ - ඔබ මට සුවය ගෙනේ

ඔහු එහි දී අර්ථවත් කරන්නේ ඒ ඔහුගේ මවගෙන් ලැබුණු සෙනෙහසට, ආරක්‍ෂාවට කෙදිනකවත් අවසානයක් නොමැත. එයට සීමා මායිම් නොමැති බවත් ය. ඔහු නිරන්තරයෙන් ම දැල්වෙන පහණකට තමන්ගේ මව උපමා කරමින් මවගේ ඔහුට ලද ජීවාලෝකය සඳහන් කරයි. ඔහු මෙම ආලෝකය නිරන්තරයෙන් ම බලාපොරොත්තු වෙනවා මෙන් ම ඒ ආදරණීය සෙනෙහස ඔහු ආදරයෙන් සිහි කරයි. ඒ ඔබට ද පොදු කරුණකි.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චියන් තම මවගෙන් දුරස් ව ප්‍රදේශයක සිටි අවධියක තමන්ගේ මව සිහි වී ඇයගේ පහස සිහිවී මෙම ආදරණීය ගිතය තම මව වෙනුවෙන් ම නිර්මාණය කල බවට පවසයි. ඔහුගේ හදවත තුළ ඇය නිරන්තරයෙන් ජිවමානව සිටින බවත් ඔහුගේ ගමනේ මාර්ගෝපදේශකයා ඇය බවත් සිහි කරයි.
ලෝකයේ සෑම මවක්ම අපමණ කැප කිරීම් කරමින් දරුවන් උස්මහත් කිරීමට මේ තරම් පාරමිතා පුරනුයේ බුදු පදවිය උදෙසා නොවේ තමන්ගේ දරුවා ලෝකය දිනන රජෙකු කරන්නයි. ඒ අම්මාවරුන්ගේ ප්‍රාර්ථනයයි. ලෝකේ අම්මාවරුන් මහ පොළොව වගේ දුක් විදිමින් අහස් කුස තරම් කැප කිරීම් කලත් රත්තරං මවකගේ කුසකින් උපන් ඇතැම් දරුවන් තමන්ගේම මවගේ ලේ සොලවන්න තරම් වර්තමාන සමාජයේ බලපෑම කුරිරු වන්නේ කෙසේ ද අම්මාවරුන් වයසට ගියාම වැඩිහිටි නිවාස වලට ගෙනහින් දමන්නේ කෙසේ ද එහෙව් සමාජයක් තුළ චන්ද්‍රසේන හෙට්ටිආරච්චියන් තම මවගේ අපරිමිත සෙනෙහස ගායනය කරමින් දරුවෙකු වශයෙන් මව්වරුනට සැලකිලි දැක්විය යුත්තේ කෙසේ ද යන්න සමාජයට පෙන්වා දෙයි.

ඔහු කොතරම් වැඩිවිය ලද පුද්ගලයෙකු උවත් තමන්ගේ මවගේ සෙනෙහස ස්මරණය කරමින් එය තවමත් බලාපොරොත්තු වෙමින් අපුර්ව පද සංපල්පනාවක් ගොතයි. ලෙය කිරි කර පොවා ලබා දුන් ඒ මිල කල නොහැකි සෙනෙහස හැමදැම තමන්ට ලබා දෙන ලෙස ඔහු ඉල්ලයි. මවගෙන් දුරස් වී සිටිමෙන් වියලුන කතරක් මෙන් වු ඔහුගේ හදවත යළිත් සෙනෙහේ කිරි දියෙන් තෙමන ලෙස ඔහු මවගෙන් ආයාචනය කරයි.

සඳ වතුරෙන් ලොව රුහිරෙන් ම දිය කොට

ඔහු සංසාර ගමනේ කෙළවර වන නිවන දියඹකට සමාන කරයි. ජීවිත සංසාරය ගංගාවකට සමාන කරයි. මේ ගලාගෙන යන ජීවිත ගංගාව තුළ දියඹ නැමැති නිවන තවමත් දුර බවත් එය නිමි වන තෙක් හමුවන ජිවිත මං තොටුපොළ වල දී තමාගේ ම දරුවෙකු ලෙස නිරන්තරයෙන් සංසාරය පුරාවටම ඒ මව් සෙනෙහසින් තමන් ව සනසන ලෙස නිරන්තරයෙන් සංසාරය පුරාවටම ඒ මව් සෙනෙහසින් තමන් ව සනසන ලෙස ඔහු මවට ආරාධනා කරන්නේ අපමණ ගෞරව සම්ප්‍රවයුක්තවය. සිය රුධිරය ඉමිහිරි කිරි බිඳු බවට හරවා සිය දරුවාට පොවා ඔහුගේ ජීවිත පෝෂණය කරන අම්මාගේ අසීමිත ආදරයට සමාන වු ආදරයක් දරුවෙකුට තවත් තැනකින් සොයා ගත නොහැකිය. ඒ මවගේ හදවත තුළින් ම පමණි. දුප්පත් ග්‍රාමිය පවුලක ජිවිත් වෙමින් විශාල දුක් කම්කටොලු මතින් තමාවත් උස්මහත් කරගෙන ඉතාමත් කටුක දිවියක් ගත කරන මවට මියෙන තුරාවට දුක මිස සතුටක් නොමැත. ඇය නිරන්තරයෙන් තම දරුවන් පිළිබඳ වෙහෙසෙයි. ඇය ජිවිත රඟ මඬල තුළ මිනි පහණක් ලෙස සැමදාම දිදුලයි.

කඳුලෙන් ඉපදී කඳුලෙන් ම මිය යන

දරුවන් කොච්චර ලොකු උනත් අම්මගේ සිතුම් පැතුම් වෙනස් වන්නේ නැත. අම්මට දරුවන්ගෙන් තොර දෙයක් නැත. දෙමාපියන් හැමදේටම විරුද්ධ වෙනවා කියලා තරුණ දරුවන් සිතයි. මේ දියුණු ලෝකේ දරුවන් අම්මා තාත්තට වැඩිය නිදහස් මත දරන ස්වාධින කෙනෙක් වීමට හැකිය. ඒත් අම්මා තමන්ගේ ජිවිතේ දිය කර මිය යන්නේ දරුවන්ව ජිවිත් කරන්නයි. එය ලෝකේ කාටවත් දිය නොහැකි මවට ම පමණක් සීමා වු දෙයකි.

ඒ අම්මාව හරියට අඳුරගත්තේ නැතිනම් එතනින් එහාට කිසිම දෙයක් නැති බව හැගේ. දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට ගොස් උසස් රස්සාවක් කලත් ඔවුන් ජිවිතය දිනන්නේ නැත. අම්මවයි තාත්තවයි බැහැර කරපු ජීවීතයක් කවදාවත් වේදනාවෙන් මිදෙන්නේ නැත. ඒ නිසා මේ මහ පොළොව තුළ නුගත් සමහර විට හිතන තරම් විශාල දැනුමක් නැති අසරණ අම්ම ම නුඔට අපුරු ජිවිතයක් දී තිබෙන්නේ කිසිදු දැනුමක් නොමැතිව ය. ඒ උතුම් අම්මා ඔබට මෙන් ම මට ද සමීපම අම්මා ම විය.

යළි හමුවෙමු.

 උපුටා ගැනීම - ගී මල් යාය - එම්. ආර්. එස්.එස්. රත්නසිරි

Sunday, January 7, 2018

හිනිපෙත්ත, මොහොතකට ගොඩවන්න



ආදරණිය බලාපොරොත්තුව
 


මේ මාගේ ජිවිත අත්දැකිමකි. එය සත්‍යය සිදුවීමක්. මෙහි එන නම්ගම් මනඃකල්පිත වේ.

මම ඇයව නිර්මලා යන නමින් හදුන්වමි. ඇය ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන වාහල්කඩ ගමේ ජිවත්වන තරුණියකි. ඇය ඇගේ පවුලේ එකම ගැහැණු දරුවා වුව ද ඇය තම සහෝදරයන් මෙන් වෙහෙසී වැඩ කිරිමට දක්ෂ විය.

නිර්මලාට අවු. 21 පමණ වන විට විවාහ යෝජනාවක් ලැබිණි. ඒ ඇගේ ජිවිතයේ සංධිස්ථානයකි. ඇය තම ඥාති සහෝදරයෙකු සමග විවාහ පත් විය. ඔහු නමින් චමින්දය. ඔහු යුධ හමුදා සෙබලකි. මොවුන්ගේ ආදරණීය කැදැල්ල සුනුවිසුණු වන්නට වැඩිකලක් ගත නොවී ය. ඔවුන්ගේ විවාහ දිවියට වසරක්වත් පිරිමට පෙර යුද බිමේ දී අතහැර යන්නට සිදු විය.

නිර්මලාගේ ජිවිතය වෙනස් වුයේ එදා සිටිය. එදා සිට සමාජයෙන් ගැරහුමට ලක් වන්නට ඇයට සිදු වුණි. ඇය සිතින් මෙන්ම මනසින්ද දුබල වු අවස්ථා අපමණය. නමුත් ඇය යලි හිස එසවී ය. ඇය තම නිවසේ බර හිසට ගෙන කටයුතු කළාය. සතුටින් කාලය ගත විය. ඇයට නැවත විවාහ යෝජනාවක් ලැබිණි. නිර්මලාට ජිවිතය පිළිබද පුංචි බලාපොරොත්තුවක් යළිත් ඇති විය. ඇය දෙවන වරටත් මනාලියක් වුයේ වැලලී ගිය සුන්දර සිහින යළිත් මල්ඵල ගන්වමින් ය. ඔහු නමින් සුනිල් ය. ඔහු ද රාජ්‍ය අංශයේ  සේවයෙකි. ඔවුන්ගේ කැදැල්ල තවත් ලස්සන කරමින් අමුත්තියක් පැමිණියා ය. ඒ පුංචි සුරංගනාවියක් ය. නමුත් නොසිතු ලෙස සුනිලගේ වෙනස් වීම හා අතහැර යාම හමුවේ ඇය නැවත තනි විය..... නමුත් ඇයට ජිවත් වීමට බලාපොරොත්තුවක් ඇත. ඒ ඇගේ සුරතල් දියණිය යි..

මෙම කතා පුවත කියවන ඔබටත් යම් පැනයක් සිතට නැගෙනවා නොඅනුමානයි. ‘‘ඇය නැවතවරක් විවාහපත් නොවී සිටියානම්.............’’ ඒ ඔබට දැනෙන දැඩිම ප්‍රශ්නයයි. නමුත්...... මගේ මව පැවසු යමක් මට දැනුදු සිහිපත් වේ. ‘‘ලොකු පුතේ..... මොනදේටත් වඩා අපිව ජිවත් කරන්නේ බලාපොරොත්තු .’’ ඔව්     ! ඒ ඇයගේ කතාවයි. බලාපොරොත්තුව ජිවිතය ජිවත් කරවයි. එය ඇයටත්, මටත්, ඔබටත් නිසැකවම දැනෙනවා ඇති. ඇය අදටත් සතුටින් ජිවත් වෙයි. හේන් ගොවිතැනින් සිය එකම බලාපොරොත්තුවේ සුරංගනාවිය ‘පුංචි දියණිය’ ජිවත් කරන්නට නොදරන වෙහෙසක්  නැත. ඇය සමස්ත සමාජයේ ම දිරිය දියණියකි.

යලි හමුවෙමු.



Friday, January 5, 2018

සංස්කෘතිය හා උප සංස්කෘතිය



සංස්කෘතිය 

සංස්කෘතිය යන්න හැදින්වීමේ දී ඉංග‍්‍රිසි භාෂාවේ එන culture යන පදයට අනුරූපීව සංස්කෘතිය යන වචනය නිර්මාණය වී ඇත. යම් ජන සමාජයක ජීවත්වන්නා වු ජනතාව ජිවත් වන රටාව සංස්කෘතිය යනුවෙන් සරලව පෙන්විය හැකි ය. එකී සංස්කෘතියට එම ජනතාවගේ අතීත මෙන් ම වර්තමාන ජීවන රටාවන් ද අයත් වේ. එම ජිවන රටාව සමාජයේ බහුතරයක් විසින් පිළිගත් සම්මත හැසිරිම් නියම කරගත් අගයන්නා වු රටාවකි. මේ ආකාරයෙන් සෑම සමාජයකම වෙසෙන ජනතාවට තම අපේක්‍ෂා ඉටුකර ගැනීම සඳහා පිළිගත් සම්මත හැසිරිම් රටාවන් ගොඩ නැගී ඇති අතර එය සමාජ සමුහයක අන්තර් ක‍්‍රියා මගින් ගොඩනැගේ. සංස්කෘතිය යනු එම හැසිරිම් රටාවයි. සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන්නකි. නැතිනම් ගතික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. එය රටකට සමාජයකට පොදු වුවකි. සුවිශේෂි හා අනන්‍යය ලක්‍ෂණවලින් යුක්ත වුවකි. සංස්කෘතියට භෞතික හා අභෞතික අංග ද ඒ හා බැදුණු චර්යා  රටාවන් ද සාමජය විසින් උරුම කර දී ඇති භාෂාව ද අයත් වන බව වින්ස්ටන් පවසයි. මේ අනුව බලන විට සමාජය යනු පුද්ගල අන්තර් ක‍්‍රියා හා බැදුණු සමාජික එකතුවක් නම් එම සමාජයේ ජිවන ක‍්‍රමයේ හරය සංස්කෘතිය ලෙස හැදින්විය හැකියි.


මානව හා සමාජ විද්‍යාඥයන් විසින් සංස්කෘතිය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. ඊ. බී. ටයිලර්, රැල්ෆ් ලින්ටන්, බී. මැලිනොව්ස්කි, චාල්ස් ඒ. එල්වුඞ් ඇතුළු සමාජ හා මානව විද්‍යාඥයන් රැසක් ඒ අතර වේ.

බි‍්‍රතාන්‍ය මානව විද්‍යාඥ  ඊ. බී. ටයිලර් ,(1871) තම ප‍්‍රථමික සංස්කෘතිය නම් කෘතියෙන් පළමු වරට සංස්කෘතිය පිළිබඳව පහත නිර්වචනනය ඉදිරිපත් කරයි.

 සංස්කෘතිය යනු දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව,සදාචාරය, නිතිය, සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකෙයකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොට ගෙන ඇති හුරු පුරුදු හා හැකියවන් ඇතුළත් සංකිර්ණ සමස්තයයි.

උප සංස්කෘතිය

ජාතික, ආගමික, ආර්ථික, දේශපාලනික, සමාජීය ආදී වශයෙන් වු නොයෙකුත් සාධක මත මහා සංස්කෘතිය තුළ නිර්මාණය වන කුඩා සංස්කෘති උප සංස්කෘති ලෙස හඳුන්වයි. නැතිනම් විවිධ සාධක මත වෙන් වෙන් ව පවතින උප සමාජයට අයත් සංස්කෘතිය උප සංස්කෘතියයි. එය මහා සංස්කෘතියේ ම කොටසකි. සමාන රැකියා, සමාන අදහස්, සමාන හැගිම්, ආකල්ප හා සමාන චර්යා මට්ටම්වල හිදිමින් සමගාමි ක‍්‍රියාවලියක නිරතවන කණ්ඩායමක් අයිතිය හා හැගීමෙන් යුතුව ක‍්‍රියාත්මක වීමෙන් උප සංස්කෘතිය බිහි වේ. ආගම, ජන වර්ග, ගිහි පැවැදි බව, ස්ත‍්‍රී පුරුෂ බව, කුල ගෝත‍්‍ර, අපචාරී කල්ලි, රැකියා ක්‍ෂත‍්‍ර, වයස් කාණ්ඩ ආදිය ඔස්සේ උප සංස්කෘතිය ගොඩ නැගේ. උප සංස්කෘතින් ලෙස විශ්වවිද්‍යාල උප සංස්කෘතිය, ති‍්‍රවිල් සංස්කෘතිය, වැදි සංස්කෘතිය, ධීවර සංස්කෘතිය, පැවිදි සංස්කෘතිය ආදිය දැක්විය හැකි ය.



 උප සංස්කෘතියේ ලක්‍ෂණ ලෙස

  •  එයටම  ආවේණික වු බස් වහරක් යොදා ගැනිම
  •  නිරන්තරයෙන් වෙනස් විම
  •  විශේෂිත කණ්ඩායමකට ආවේණික වීම
  •  මහා සංස්කෘතියේ ම ලක්‍ෂණ දක්නට ලැබීම
  •  මහා සංස්කෘතියකට බලපෑමක් කළ හැකි වීම
  •  එයටම අනන්‍ය වු ලක්‍ෂණ තිබිම
  •  සමානකම් ඇති පුද්ගල කණ්ඩායමක් විම




මෙසේ සරලව සංස්කෘතිය හා උප සංස්කෘතිය  දැක්විය හැකි වේ.